පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීම
පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹ දන්දීම, ඒවායින් විග් නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ~ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීම
පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීම ඉතාමත් උතුම් පිංකමක්.
පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ එම ප්‍රතිකාර ක්‍රම නිසා කෙස් කළඹ බොහෝ විට අහිමිවීමට සිදුවීම රෝගීන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වේ. බොහොමයක් කාන්තාවක් මානසිකව ඇද වැටෙනවා ඔවුන්ගේ රූ සපුවේ මූලිකම දෙයක් විදිහට සලකන කොණ්ඩය අහිමි වුණහම. වෙළඳපොල ඇති “විග්” වලින් බොහෝවිට අසාත්මිකතාවයන් ඇතිවිය හැකිය. අනෙක් අතට මුහුණේ පෙණුමට සරිලන විග් එකක් සොයාගැනීමටද අපහසුයි.
ස්වභාවික හිස කෙස්වලින් කෙස් කළඹ සකස් කිරීමේ හැකියාව සහ තාක්ෂණික දැනුම ඇති ශ්‍රී ලංකාවේ එකම සැලසුම් ශිල්පියා වන්නේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී මෙන්ම කොණ්ඩා නිර්මාණ ශිල්පී ලලිත් ධර්මවර්ධන මහතායි. අප කණ්ඩායම ඊයේ දිනයේදී ඔහුව මුණගැසී මේ ව්‍යාපෘතිය සඳහා උපදෙස් ලබාගත්තා.
වෙළෙඳපොළේ රුපියල් ලක්ෂයකට වඩා වැඩි වියදමක් යන “විග්” ලලිත් ධර්මවර්ධන මහතා විසින් ඉතාමත් අඩු සහනදායී මුදලකට අප පදනමට නිර්මාණය කර දීමට පොරොන්දු වුණා.
ඇත්තෙන්ම සමාජසත්කාර පදනම මගින් සිදුකරනු ලබන වැඩසටහන් පිළිබඳව පැහැදිලි කල පසුයි ඔහු අපත් සමඟ එකතුවෙන්න කැමැත්ත පලකලේ.
ඉදිරියේදී මේ සම්බන්ධව අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීම තුලින් අපට වඩාත් ඵලදායී, විශ්වාසවන්ත ලෙස සේවාවක් ලබාදිය හැකියි. ඒ සම්බන්ධවද අප කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා…
එමෙන්ම ඒ සඳහා ශ්‍රී ලංකාව පුරා ඇති සැලෝන් හරහා අවශ්‍ය කොණ්ඩය ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳවත් අප සාකච්ඡා කලා.
සාමාන්‍ය පරිදි අප Hair Donation Camping කරන්නේ නැහැ. අප සමඟ ලියාපදිංචි වන සැලෝන් හරහා අප පිළිකා රෝගියෙක්ට විග් එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය වන විට පෝස්ට් එකක් පළකර අවශ්‍ය ප්‍රමාණයට පමණක් කොණ්ඩය එකතු කරගෙන මෙම විග් නිර්මාණය කරනවා. හරියට රුධිරය පරිත්‍යාග කරන ආකාරයට. නමුත් විදේශ ගතව සිට ලංකාවට කෙටි නිවාඩු සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට ඔවුන් නැවත යාමට පෙර ඕනෑම දිනක කොණ්ඩය පරිත්‍යාග කිරීමට අප අවස්ථාව සලසා දෙනවා.
ඇත්තෙන්ම මේ ව්‍යාපෘතිය අප ආරම්භ කලේ 2015. නමුත් අපට එය දීර්ඝ කාලීන කරගෙන යන්න බැරිවුණා. නමුත් මාගේ ෆේස්බුක් මිතුරියක් වන
Yasintha Samanmali අක්කගේ ඉල්ලීමක් මත, Prasadi Udayangi අක්කාගේ මග පෙන්වීම මත ලලිත් මහතාව සම්බන්ධ කරගෙන අප මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කරනවා…
ඔබට පෙබරවාරි 1 වෙනිදා සිට ඔබගේ සැලෝන් එක මේ සඳහා ලියාපදිංචි කිරීමටද, පෙබරවාරි 10 සිට කොණ්ඩය පරිත්‍යාග කිරීමට ලියාපදිංචි වීමටද හැකියාව ලැබේ.
මෙම ව්‍යාපෘතියේදී අප විසින් වෙනදා මෙන් ඉතාමත් අන්ත අසරණ අඩු ආදායලාභී පිළිකා රෝගීන් වෙනුවෙන් “විග්” පරිත්‍යාග කිරීම සිදුකෙරේ. එහිදී අප විසින් ඔවුන්ගේ නිවාස පෞද්ගලිකව නිරීක්ෂණය කර තහවුරු කිරීමෙන් පසුව ඔවුන්ගේ පෙණුමට සරිලන විග් එකක් නිර්මාණය ආරම්භ කරනු ලැබේ. අනෙක් ආයතන වලින් සිදුකල වැඩසටහන් වලට වඩා සංකීර්ණ ක්‍රියාවලියක් අප පදනම මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. “විග්” එකට අමතරව ඔවුන්ගේ වෙනත් අඩුපාඩු බලා උදව් කිරීමද සිදු කිරීමට බලාපොරොත්තු වේ.
මහරගම අපේක්ෂා රෝහළ සමඟද ඉදිරියේදී මේ පිළිබඳව සාකච්ඡා කර රෝගීන් ඔවුන් හරහා සොයාගැනීමට බලාපොරොත්තු වන අතර, එසේ නොහැකි වුවහොත් ෆේස්බුක් හරහා අපට ලැබෙන ඉල්ලීම් පිළිබඳව සොයා බලා උදව් කිරීමට බලාපොරොත්තු වේ.
මෙයට සහය දැක්වීමට කැමැත්ත පලකල ලලිත් ධර්මවර්ධන මහතාට මාගේ හදපිරි ප්‍රණාමය….
0 Comments